Friday, October 12, 2012

Ben 10 - Part 3



ඔන්න ඉතින් ප්‍රදර්ශනේ බල ලා කට්ටිය කාර් එකට එහෙම නැගල ගෙදර යනවා..අප්පච්චි පටන් ගත්තා කතාවා.

අප්පච්චි - අර පිරිමි ළමයව අදුරන්නේ කෙමිස්ට්‍රි පන්තියෙන්ද ? 

මම - ඔව් අප්පච්චි.

අප්පච්චි - කොහොමද අදුරන්නේ නිතර කතා බහ එහෙම කරනවද ?

මොන කතා බහද..අද තමයි වචන 100ක් විතර අහන්න ලැබුනේ.

මම - නෑ අප්පච්චි..පන්තියේ දැකල තියෙන ළමයෙක්.අද අපිව දැකල ඇවිත් කතා කරා.

අප්පච්චි - ඇත්තද දුවලා මේ කියන්නේ ?

පිටිපස්ස සීට් එකෙ ඉන්න අපේ අප්පච්චිගේ දූලා - හ්ම්ම්ම්....ඔව් අන්කල්.එච්චර අදුරන කෙනෙක් නෙවෙයි.

අප්පච්චි - ඒ ළමයගේ තාත්තා තමයි අර ..... කම්පැනි එකේ ඩිරෙක්ටර්.

මම - ආ ඇත්තද ? 

අප්පච්චි - ඒ ළමයත් එක්ක වැඩි ඇයි හොදයි එපා.පුතණ්ඩියා ඇස් කරක කරක දූලා දිහා බලපු තාලේනම් මට එච්චර ඇල්ලුවේ නෑ දූ.තාත්තගේ ගුණ යහපත් කම් ගෑවිලාවත් නෑ කොල්ලට.

මම - ඉතින් මං මොනා කරන්නද ? මං බලන්න කිව්ව වගේනේ.

අනේ..බෙන් අපිට උදව්වුත් කරලා බැනුමුත් අහනවානේ..!

අප්පච්චි - මොනා හරි කිව්වම කට ගහගෙන නම් එනවා.කිව්වම දෙයක් අහන්න ඉගෙන ගන්න.වැඩි ඇයි හොදැයියට එහෙම යන්නේ නෑ.

අයියො මේවට තමයි කියන්නේ පුදපු තැනම කාපි යකා කියලා.මැදැයි ඉතින්.අර 4 දෙනත් සද්දයක්වත් දාන්නේ නෑ මේ වගේ වෙලාවට හොද නාමේ ගන්න ඔනේ නිසා.අනේ අම්මපා මෙහෙමත් යාලුවෝ.

ඔන්න ඉතින් ඊළග දවසෙ කෙමිස්ට්‍රි පේපර් කලාස් එක.දවල් 3ට විතර සුපුරුදු පරිදි සෙට් එකත් එක්ක පන්ති පටන් ගන්න ඔන්න මෙන්න තියලා දුවලා ගියා ක්ලාස් එකට.කවදාවත් නැතුව බෙන් ඉන්නවා ක්ලාස් එකේ කවුන්ටර් එක ගාව හිටන් තඩි පේපර් බෑග් එකකුත් අතේ තියාගෙන.

බෙන් - මේ මේ වයිට් !
මෙන්න මෙයා මට කතාත් කරනවා.
මම - ඇයි බෙන් ? 
බෙන් - ඔයාගේ යාලුවට කොහොමද දැන් ?

අපෝ..මං හිතුවෙ මගෙන් දුක සැපවත් අහයි කියලා.මේ වෙලාවේ අපෙ කට්ටිය වතුර බෝතල් පුරවන්න ටැප් එක ලගට ගිහින් උන්නේ.

මම - ආ..එයාට දැන් හොදයි.
බෙන් - මේ ඒක නෙවෙයි වයිට් මට සමාවෙන්න.
මම -සමාවෙන්න ?? ඒ මොකටද ?
බෙන් - ඊයේ මං ඔයාල එක්ක දවසම හිටපු එකට ඔයාගෙ අප්පච්චිට තරහ යන්න ඇති කියල මට හිතුනා.ඒකයි.
මම - නෑ නෑ..එහෙම මුකුත් නෑ.
බෙන් - මං දන්නවා බොරු කියන්න ඔනේ නෑනේ.

ඈහ්..මෙයා කොහොමද අපි කාර් එකේ කතා කරපුවා දන්නේ ?

බෙන් - මං දන්නවා බැන්නා කියලා. I am really sorry White.මෙන්න මේක අරගන්න කලාස් එක වෙලාවෙදි සර් බයිලා කියවන වෙලාවට නියමයි මේවා.මං යනවා.

 මේවා ? මොන මේවද ? පන්තියේ වෙලාවෙදි මොනවද ? සමාව ඉල්ලුවේ මොකටද ? හිතේ තිබුන ප්‍රශ්න මුකුත් අහන්න වුනේ නෑ.පේපර් බෑග් එකක් අතට දීලා බෙන් වාෂ්ප වෙලා. !!!

එවෙලේ තමයි අපේ සෙට් එක දුවන් ආවේ.

"යමු යමු පරක්කු වෙනවා.පේපර්ස් බෙදලත් ඇති මේ වෙනකොට "
" මොකද ගල් වෙලා කතා කරනවා වයිට් ? " 
"මොකක්ද ඔය අතේ තියෙන්නේ මෙහේ දෙනවා බලන්න " 
හෂියා ගත්තා බෑග් එක.ඇද්ද පාරට බෑග් එක ඉරිලා වැටුනා ඇතුලෙ තිබුන දේවල්.

   "මගේ අම්මෝ..කොහෙන්ද මේවා ? "
   "බෙන් දුන්නා." 
   " මොකක් ???? බෙන් දුන්නා. ?? "
   "ඔව් බෙන් දුන්නේ සමාවෙන්න කියලා."
   "මොන හුට පට කතාවක්ද ඒ ? මොකටද බෙන් සමාව ඉල්ලුවේ ?"
   "මං දන්නේ නෑ මොකටද කියලා.එයා දීලා ගියා."

එතකොටම කවුන්ටරෙන් මැනේජර් ඔලුව දැම්මා.

" ඔය ලමයි තාමත් මෙතනද ? පන්ති පටන් අරන්.. යන්නේ නැද්ද ? "

එවෙලේ තමයි පියවි ලෝකෙට ඇවිත් බිම වැටුන දෙවල් සාක්කු වල පුරවගෙන පන්තියට දිව්වේ.


දැන් ඉතින් කට්ටියත් එක්ක වැරදියට එහෙම හිතන්න එපා  ;-) වෙන මුකුත් නෙවෙයි බෑග් එකෙ තිබුනේ වයිටා ආසම චොකලට් ජාතියෙන් චොකලට් 50 ක් 60ක් විතර !!! හරියට ඔන්න ඔය පින්තුරේ තියෙනවා වගේ ඔක්කොම එකට ගත්තම.

කොහොම හරි අන්තිමට මගේ හිතේ ඉතුරු වුන ප්‍රශ්නේ.. " කොහොමද බෙන් මගේ ආසම චොකලට් වර්ගේ දන්නේ ???? "  





Wednesday, September 5, 2012

Ben 10 part 2 - mission impossible





කලින් කතාවේ කිව්වා වගේ බෙන් ගැන හොයන්න වයිටගේ යාලුවෝ සෙට් එක හෙවත් හෂියා,ඔබියා,මන්දයා සහ ලප දමයන්ති මිෂන් එකක් දියත් කලා.කොල්ලෙක් කෙල්ලෙක් ගැන සාමාන්ය දෙයක් වුනාට කෙල්ලෝ සෙට් එකක් විශේශයෙන් විද්යාව කරන කෙල්ලො සෙට් එකක් එක කොල්ලෙක් ගන හොයන එකනම් ටිකක් අමුතු වැඩක් වුනා.මිෂන් එකේ අංක එක වුනේ බෙන්ගේ ඉස්කොලේ හොයා ගන්න එක.අපිට පන්ති තිබුනේ සෙනසුරදා සහ බදාදා.ඉතින් බදාදා දවසට හැමෝම ලමයි යුනිෆොර්ම්නේ පන්ති එන්නේ බෙන් නම් ජිවිතේ කවදාවත් යුනිෆොර්ම් එකෙන් පන්ති එන්නේ නෑ.පුදපු තැනම කාපි යකා කිව්වලු.මේ දවස්වල තව අලුත් වැඩක් තිබුනා මරියකඩේ ඉස්කෝලේ.ඇත්තටම කිව්වොත් මහා පරිමාණ ප්‍රදර්ශනයක්.අපිටත් ඉතින් නිකන් ඉන්න බැරි නිසා දවසක් ඉස්කෝලේ කට් කරලා ගියා ප්‍රදර්ශනේ බලන්න.

ප්‍රදර්ශනේ බලන අතරතුරේ අපි ගියා බයෝ ගැන තියෙන බිල්ඩිමට.ෆෝමලීන් දාලා ගොඩක් ස්පෙසිමන්ට්ස් තිබුනා අපිට බලන්න.කොහොමහරි අපේ ලප දමයන්තිට ටිකක් විතර කලන්තයක් අවා ෆෝමලින් සැරට.ඉතින් ඉක්මනටම එතන හිටපු සහෝදරවරු කට්ටියක්  ප්‍රථමාධාර  දෙන්න කට්ටියකට කතා කරා.කොහොම හරි එයාල එන්න කලින් බාලදක්ෂ නුවණ පිහිටෙන් වයිට ට පුලුවන් වුනා දමයන්තිව නැගිට්ට ගන්න.ඔන්න දැන් තමා හොදම හරිය.ප්‍රථමාධාර කට්ටලයක් අරන් ආවේ වෙන කවුරුත් නෙවෙයි අපේ බෙන් !! ඔන්න ඉතින් එදා අපි හොයා ගත්තා බෙන් මොන ඉස්කොලෙද කියන එක.මිනිහත් මරියකඩේ ඉස්කෝලේ වුන එක හොදට ගියා.වෙන එකක වුනා නම් ජිවිතේට වයිටගේ සහෝලනම් කැමති වෙන්නෙ නෑ.


මෙන්න දෙබස.

බෙන් - ආ..මේ ඔයලනේ..මොකද වුනේ යාලුවට ?
(ඈ...මිනිහා අපිව දන්නවද ? )

මම - ෆෝමලින් සැරට පොඩි කලන්තයක් අවිත්..

බෙන් - හහ්..ඔයාගේ යාලුවා නිදර්ශකේ ඇතුලට නහය ඔබන්න ගියාද කලන්තෙ එන්න තරම්..

බෙන්ට මර ලස්සන හිනවක් තිබුනා එවෙලෙනම්.වෙද නලාව කරේ නොදාගෙන හිටියට මටනම් එයාව පෙනුනේ ඔන්න ඔය පින්තුරෙ ඉන්න කෙනා වගෙ තමා. :-P
ශැහ්..ලපය නැතුව මං කලන්තේ දැම්මනම් මොකො වෙන්නේ.


බෙන් - වයිට්..ඔයාගේ යාලුවා එලියට අරන් යන්න හුලං ටිකක් වදින්න.එතකොට හරි යාවි..ඔයාටයි ඔයාගේ යාලුවන්ටයි මාර මාර වැඩ තමා වෙන්නේ.

හත්දෙයියන්ට ඔප්පුවෙච්චාවේ බෙන් මගේ නමත් දන්නවා එහෙනම් !!!!

ඒක අහපු වෙලේ මං හිතන්නේ මට කලන්තයක් ආවද කොහෙද.කොහොම හරි එදා දවස ඇතුලත නිතරම වගේ බෙන් අපි ගැන හොයල  බැලුවා.අරක බලන්න මේක බලන්න කිය කියා යවන්න බලන්න පුලුවන් හැම තැනකට යැව්වා කකුල් ගෙවෙනකන්ම.

යන්න ලං වෙලා අප්පච්චිට කතා කරා අපිව අරන් යන්න එන්න කියලා..එවෙලෙන හවස 6.30 විතර වෙලා තිබුනේ.බෙනුත් හිටියා අපේ ළග පාත යාලුවො සෙට් එකක් එක්ක.


අප්පච්චි - ආ..බෙන් පුතා..කොහොමද ? කොල්ලා උස ගිහින් නේ මේ ටික කාලෙට..කෝ තාත්තා ?

(හුරේ !! ඔන්න නමත් හොයා ගත්තා.ඒ මදිවට බෙන්ගේ තාත්තා අපෙ අප්පච්චිව අදුරනවත් එක්ක..! )

බෙන් - ආ..අන්කල්.තාත්තානම් අද ආවේ නෑ.හෙටනම් එනවා කිව්වා.(අපේ දිහාවට ඇගිල්ල දික් කරලා) මේ ඔක්කොම අන්කල්ගේ දුවලද ?

(මේ මිනිහගේ මොලේ හොද නැති වේගෙන එනවද ! එක වයසේ කෙල්ලො 5ක් පස් නිවුන් දරු උපතක් කියල හිතන් හිටිය ද  මැට්ටා)

අප්පච්චි - නෑ නෑ..මේ ඉන්නේ මගේ දුව මේ ඉන්නේ එයාගේ යාලුවෝ.කට්ටිය අද ආවා ප්‍රදර්ශනේ බලන්න.ඔක්කොම ඉතින් බයෝනේ කරන්නේ.

බෙන් - මං මෙයාලව අදුරනවනේ අන්කල්.අපි ඔක්කොම එකම කෙමිස්ට්‍රි පන්තියේ.

(අප්පච්චි දැම්මා නේද දැවිල අලු වෙලා යන බැල්මක් මගේ දිහාවට.අම්මපා බෙන්ට මොලයක් නැද්ද)



අප්පච්චි - ආ..හරි පුතා.අපිට පරක්කු වෙලා අපි යනවා.තාත්තව මතක් කරා  කියන්නකො.

බෙන් - හරි අන්කල් කියන්නම්. (බඩ ගාල අපේ අප්පච්චිට වැදල එහෙම) එහෙනම් වයිට් අනිද්දට හම්බවෙමු පන්තියෙදි.
ගෙදර යන ගමන් වාහනේදි අප්පච්චි මාව හම ගහපු හැටි බෙන් පාර්ට් 3 එකෙන්.

Wednesday, August 29, 2012

Ben 10-part 1




කට්ටිය හිතන්න එපා උ.පෙ.ත් ඉවර වෙලා වයිටා පොඩි එකෙක් වගේ බෙන් 10 ට පිස්සුවක් හැදිලා කියලා.එහෙම එකක් නම් නෙවෙයි මේක.වල් පල් නතුව කෙලින්ම කතාවට බහිමුකෝ.මේ කතාව වයිටගේ පාසලේ නම් හරිම ප්‍රසිද්දයි.

කොස්කද පන්තියේ තමයි වයිටගෙ කෙමිස්ට්‍රි පන්ති තියෙන්නේ.උදේට හෂියගේ හරි මගේ හරි අප්පච්චි ගිහින් බස්සනවා දවල්ට පන්ති ඇරිල බස් එකේ එනවා.හෂියා යන්නේ එක බස් පාරක මං තවත් එකක.ඉතින් ඔන්න ඔහොම දවසක පන්ති ඇරිලා බස් හෝල්ට් එකට අවා.ඇවිත් ටිකට් එක ගන්න බලද්දි පර්ස් එක නෑ.දැන් ඉතින් මොන දෙවියන්ට කියන්නද ඉතින්.හෂියත් නෑ කීයක්වත් ඉල්ල ගන්න.අන්ත අසරන වුනා මේ වයිටා.වට පිට බැලුවට කවුරුත් නෑ.පන්තියේ පිරිමි ළමයි ටික දෙනෙක් නම් හිටියා.කරන්න දෙයක් නෑ ලජ්ජා බය අතෑරලා ගියා පන්ති එන කලින් වයිටගේ දහම් පාසල් එන පිරිමි ළමයෙක් ගාවට.


මෙන්න මෙහෙමයි වුනේ.

මම - අනේ ප්ලිස් (නම) මං අද මගේ පර්ස් එක දාලා ඇවිත් මට බස් එකේ යන්න රුපියල් 7ක් දෙන්න පුලුවන්ද ?
(දැන් ඉතින් කට්ටිය හිතන්න එපා රුපියල් 7 දුර පයින් යන්න බැරිද කියලා)
පිරිමි ළමයා - මං ගාව ඇති සල්ලියක් නෑ !
(එවෙලෙනම් මට හොම්බට දෙකක් අනින්නමයි හිතුනේ)

දැන් ඉතින් කාට කියන්නද මේ මනුස්සයා ගාව අසරනයෙක්ට දෙන්න රුපියල් 7ක් වත් නැද්ද අප්පා.ඔන්න මේ වෙලාවේ තමයි බෙන් 10 කරලියට එන්නේ.


 බෙන් 10 - ඔයාට බස් එකේ යන්න සල්ලි නැතිද ? මං දුන්නට කමක් නැද්ද?


 මටනම් හිතුනේ මෙහෙමත් පිං වන්තයෝ ලෝකේ ඉන්නවද කියල තමයි.අදුරන්නෙත් නෑ ජිවිතේට දැකලත් නෑ.මොනා වුනත් මට පුලුවන් වුනා "ඔව්" කියලා උත්තරයක් දෙන්න.ඉතින් කොහොම හරි බෙන් 10 මට බොහොම ශ්‍රද්ධාවෙන් රුපියල් 10ක් දුන්නා බස් එකේ යන්න.ඔන්න ඔය පින්තූරේ තියෙනවා වගේ කොලයක් තමා දුන්නේ.


මොන හේතුවකටද මන්දා මට හිතුනේම නෑ නොව ඒ රුපියල් 10 වියදම් කරන්න.ඉතින් මං එදා ජීවිතේ පළමු වතාවට බස් එකේ හොරෙන් ගිහින් රුපියල් 10 ඉතුරු කරගත්තා.දැන් ඉතින් කියන්න එපා වයිටා හරිම කැත ළමයෙක් කියලා.නොකිව්වට මොකො ඔය හැමෝම හොරෙන් දවසක් හරි බස් එකේ ගිහින් නැද්ද ?


ඔන්න ඉතින් කතාව ඊලග දවසටත් ඇදිලා යනවා.ගත්තා වගේම දෙන්නත් එපැ.ඊලග දවසේ මෙන්න මෙහෙම තමා වුනේ.

බෙන් - ආ..හලෝ..අද බස් එකේ යන්න එහෙම සල්ලි තියෙනවද ? 
මම - ආ..ඔව්.කලින් දවසෙ සල්ලි.....
බෙන් - අයියෝ.මටනම් එපා..දුන්නත් ගන්නෙත් නෑ

මම - ඒත් එහෙම බෑනේ.එහෙනම් මම අද බස් එකට ඔයාටත් එක්ක ගන්නම්.

කොහොමහරි වදෙන් පොරෙන් බලෙන්ම වගේ මං ටිකට් එකක් ගත්තා.දැන් ඉතින් මෙන්න මෙහෙම දවසක් එයා ගන්නවා දවසක් මං ගන්නවා.පන්තියේදි දැක්කම හොද හිනාවක් එහෙම දානවා.හායි කියනවා ගුඩ් මෝර්නින් කියනවා මාත් ඉතින් කවදා කාපු කේක් ද ?මං ඉතින් අර දීපු 10 පරිස්සම් කරලා අරන් තියන් ඉන්නවා.වයිටගේ යාලුවොත් දැන් ඉතින් මේ කතාව ටික ටික දන්නවා.කට්ටිය එකට නම දැම්මේ වයිටගේ රුපියල් 10 ලව් එක කියලා.මං තමා නම දැම්මේ බෙන් කියලා මොකද මිනිහගේ කොන්ඩේ ටිකක් ඒ වගෙ අනික අම්මා තාත්තා අයියා ඉස්සහරදිවත් කියවුනොත් මුකුත් හිතන්නත් බැරි නිසා.(මෙහෙම හිටියට මං ටිකක් කපටි නේ )

මටත් ඉතින් මාර හැපි කොස් කට්ටක් වගේ පෙනුම තියෙන මං දිහා එච්චර ලස්සන කොල්ලෙක් බලනවා කිව්වම.දන්නේ නැද්ද නිකන් ජොලියට කට්ටිය විහිලු එහෙමත් කරා.ඔක්කොමත් හරි තාමත් මේ කොල්ලගේ නම ගම පාසල මුකුත් දන්නේ නෑනේ.වයිටගේ යාලුවන්ට ඉන්න බැරි ගායට බෙන් ගැන තොරතුරු හොයන්න මිශන් එකක් දියත් කලා.

ඒ ගැන විස්තර බෙන් 10 පාර්ට් 2 එකෙන් බලාපොරොත්තු වන්න.


Tuesday, August 28, 2012

උ.පෙ. සාපයක් වුනි !!



ඔන්න ඉතින් වයිටා නැවතත් කරලියේ.උ.පෙ.නිසා මේ පැත්තේ ආවේ නැනේ අවුරුද්දකින් විතර.හරිම දුකයි අනේ.කොහොම වුනත් මේ අවුරුද්දේ අපිට හොද හොද සෙල්ලම් වුනා උ.පෙ.ලියන්න ගිහින්.කලින් අවුරුද්දෙ උ.පෙ.ලියපු අයටත් වෙලා තියෙන සෙතේ පේනව ඇතිනෙ.පළමුවැනියට අපිට තිබුනේ ජීව විද්යාව. 1st එකේ තිබුනා සමහරක් ජීවිතේට අහලා නැති විද්යාත්මක නාම වගයක්.මං හිතන්නේ එව්වා සිලබස් එකේවත් නැද්ද කොහෙද.හරි ඒක අතාරිමුකො.structured එකේ සිලබස් එකේ අහන්න තිබුන හැම අස්සක් මුල්ලක් නෑරම අහලා තිබුනා.අන්න ඒකනම් හොදයි හොරට පාඩම් කරන එවුන් අල්ල ගන්න.ඉතින් වයිටා වගේ ශේප් වෙන්න උ.පෙ. ලියන අයට දෙවියන්ගේම සරනයි.බයෝ පේපර් එකට කලින් දවසේ මාරම එස් එම් එස් තොගයක් ආවා අර මිස් මෙහෙම ගෙස් කරා අර සර් කියනවා මෙහෙම එයි කියලා ළමයි නිකන් පිස්සුවෙන් වගේ ඒවම පාඩම් කරා.හැබැයි ඉතින් සත පහකට වැඩක් වුනේ නෑ ඒ කියපු කිසිම දෙයක් අවේ නෑ.


ඊට පස්සේ තිබුනේ පිසික්ස්.අන්න ඉතින් මං ආසාවෙන්ම කරපු පේපර් එක.සමහරුනම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයට බැන බැන හිටියා අමාරුයි කියල.ඇත්තටම ඒකේ තිබුනේ නිර්මානාත්මක ප්‍රශ්න.ඉතින් වයිටා වගේ කටපාඩම් ගිරව් නොවන අය හැමෝම හොදට ඒක කරන්න ඇති.ඔන්න ඊට පස්සේ තමා හොදම හරිය.වයිටගේ ආසම විශයක් තියෙනවනම් ඒ තමා කෙමිස්ට්‍රි.බොහෝම හිත සතුටින් ගියා පේපර් එක කරන්න.පේපර් එක බෙදුවම පුරුද්දට වගේ අපි හැමෝම බලන්නේ ආවර්තිතා වගුවයි ලඝු පොතයි තියෙනවද කියලා.ඔන්න බලන්නකො ඒ දෙකෙන් එකක්වත් නැ.මුළු හෝල් එකේම ළමයි මූණට මුණ බලන් ඉන්නවා ඒ දෙක දෙනකම්.බැරිම තැන වයිටා ඇහුවා එතන හිටිය මිස් ගෙන්.

" මිස් අපිට ආවර්තිතා වගුව දෙන්නේ නැද්ද?"

ඒ මිස්නම් දැනන් හිටියේ නෑ  ආවර්තිතා  වගුව මොකක්ද කියන එකවත්.ඉතින් මිස් දුවලා ගිහින් ඇහුවා ශාලාධිපතිතුමාගෙන්.ශාලාධිපතිතුමා හොයල බලද්දි මේ පාර එවලා නෑ ආවර්තිත වගුව.අවුරුදු 2ක් තිස්සෙ mcq පේපර් එකට ටර්ම් ටෙස්ට් එකට පන්ති වල ටෙස්ට් වලට හැමදාමත් දිලා එක පාරටම උ.පෙ.ට දෙන්නේ නෑ කිව්වම අපි කොච්චරනම් අසරන වුනාද කියල අපි විතරෛ දන්නෙ.දෙන්නේ නැත්නම් කලින්ම කියන්න තිබුනා අපි කවියක් හරි සින්දුවක් හරි තාලෙට මොන විදිහකට හරි පාඩම් කරන් එනවා.1980 ගනන් වලට පස්සෙ පළමු වැනි විබාගය තමයි ආවර්තිතා වගුවක් නැතුව කෙමිස්ට්‍රි mcq පේපර් එකක් දුන්නේ.

මෙන්න අර කරුමක් කාර ආවර්තිතා වගුව.
මේ ප්‍රශ්න විසදන්නම විනාඩි 5ක් විතර ගියා.ඒ මදිවට පේපර්ස් මදි වෙලා වයිටට පේපර් එක හම්බවුනෙත් විනඩි 2ක් 3ක් පරක්කු වෙලා.පස්සේ ඒක දුන්නේත් නැ.සමහර ළමයි මතක හැටියට අර සා.පෙ.කරන කාලේ මුල 20 පාඩම් කරපු කවිය පිහිටෙන් කටුවැඩ කොලේ ලියා ගත්තා.ඒකටත් තව විනාඩි 3ක් විතර යන්න ඇති.මතක නැති ලමයින්ට හුලන් තමා.සාමානයයෙන් අපිට පැය 2ක් විතර තමා දෙන්නේ mcq පේපර් එකට. mcq 50ක් තියෙනවා.පැය 2 විනාඩි වලින් 120යි.120 , 50න් බෙදුවම එක mcq එකකට ලැබෙන්නේ විනාඩි 2.4ක් විතර.සමහර ප්‍රශ්න කියවපු ගමන් උත්තර එනවා සමහර එවා සුලු කරන්න ඔනේ.ඉතින් වෙලාව බැලන්ස් කරන්නේ හරිම අමාරුවෙන්.

ඊළගට මට ඔනේ කරේ ලගු පොත.ඔය කෙමිස්ට්‍රි කරපු උදවිය දන්නවා අති ගනන් හදන්න දශම ගනන් සුලුකරන්න වර්ග මූල සොයන්න ලඝු ඔනේ කියලා.මට උවමනා කරා ගානකට වර්ග මූල 6 කියන්නේ මොකක්ද කියලා දැනගන්න.ඉතින් මං මිස්ගෙන් ඇහුවා " මිස් අපිට ලඝු පොත දෙන්නේ නැද්ද ? " කියලා. " ඒක ආවෙ නෑනේ" කියලා මිස් කිව්ව අඩුම තරමේ ශාලාධිපතිගෙන්වත් ඇහුවේ නෑ.අන්තිමට මට වුනේ එතන තිබුන උත්තර වැඩි කර කර 6 එන්නේ මොකටද කියලා හොයන්න.හිතන්නකො තරග විබාගයකදි ඒ වගෙ අවස්තාවක කොහොම කරාද කියලා.ඇඩුනේ නැති ටික විතරයි.

තවත් ගනනක 0.138 , 277 බෙදාගන්න ඔනෙ වුනා.කරගන්න බැරිව මං අමාරුවේ වැටුනු තරමක්.කලබල වුන තරමට තව කොච්චරක්නම් ඒව වරදින්න ඇතිද මට වගේම අනිත් ළමයින්ටත්.කොහොම හරි පේපර් එක කරා කියමුකො.හොදම කොටස තමයි දැන්.වයිටගෙ යාලුවෝ 4දෙනාම හිටියේ එහා පන්තියේ එකම හෝල් එකේ.ගෙදර යන්නේ ඔක්කොම එකටනේ.එලියට ඇවිත් වයිටා කිවාම
 " බලන්නකෝ හෂියෝ ආවර්තිතා වගුවත් නෑ ලඝු පොතත් නෑ මාර පේපර් එක තමා " කියලා හෂියා කිව්වේ නැතැ
 " ආ..ඔයාලට ලඝු හම්බුනේ නැද්ද අපිටනම් ලැබුනා" කියලා.

 බලනකොට අපෙ පන්තියටයි එහා පන්තියටයි විතරයි මුලු හෝල් එකෙන්ම ලඝු ලැබිලා නැත්තෙ.කාට කියන්නද ඉතින් මේවා.විබාග දෙපාර්තුමේන්තුවට පැමිනිලි කරාම මිස්වයි ශාලාධිපතිතුමයි අයින් කරා.ඒත් ඉතින් අපිට වෙච්ච අසාධාරනය නැති වෙනවද? වැරදුන ප්‍රශ්න හරියනවද?අපිත් නිකන් අහක යන පවු වලට කර ගහනවා ගුරුවරයෙක්ගේ රස්සාවක් නැති කරලා.

මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ අපේ ජීවිත එක්ක.හරි ෆන් ඇති එයාලට ඉතින්.මටනම් දෙවෙනි වතාවක් කරන්න වෙනවානම් වෙන්නේ  කෙමිස්ට්‍රි mcq පේපර් එක නිසා තමයි.ඔක්කොමත් හරි.උ.පෙ.ඉවර වෙලා ගෙදර එන්න බස් එකේ නගින්න ඇවිදගෙන යද්දි ගිය අවුරුද්දේ උ.පෙ.කරපු අයියලා අක්කලා කට්ට අව්වේ පෙත්සමක් අත්සන් කරනවා.හොදට විපරම් කරල බැලුවම කොස්කද පන්තියේ අපිට උ.පෙ.ගොඩ දාගන්න උගන්නපු අයියලා අක්කලා තම්යි හිටියේ.අපි දන්නවනේ එයාල අපිට පාඩම් කියල දුන්න විදිහට එයාල කොච්චර දක්ශද කියලා.අපිත් ඉතින් අත්සනක් දාලා ආවා.දැන් ඉතින් අපිට වෙලා තියෙන්නේ අපේ පේපර්ස් බලන්න කියලා පෙලපාලියක් යන්න.නැත්නම් අපිටත් වෙන්නේ උ.පෙ.රිසල්ට්ස් එනකම් ගෙදරටම නාකි වෙන්න.
නැවත පැමිණි වග සතුටින් දැනුම් දෙමි.