Tuesday, August 30, 2011

හිස් - Empty

අපි මේ වගේ නොවුනට පෙනුම ටිකක් ලගින් යනවා ;-)
සා.පෙ. පන්තියේ මට හිටියා පණ වුනත් දෙන්න ලෑස්ති යාලුවෝ සෙට් එකක්.සමහරු කතාවට කියනවනේ කොල්ලන්ගේ තරම් කෙල්ලන්ගේ බොක්ක හොද නෑ කියලා(ඒ කතාව කිව්වෙත් මට කොල්ලෙක්ම තමයි)ඇත්තම කිව්වොත් අපි සෙට් එක හිටියේ එක බඩ වැල කඩන් ආපු සහොදරියෝ වගේ.අපේ අම්මලා අප්පච්චිලා වුනත් අපි 5 දෙනාට කියලා කිසිම වෙනසක් කරේ නෑ.සා.පෙ. කාලේ මං නම් වැඩි හරියක් හිටියේ හෂිගේ ගෙදර.ඇදුම් , දත් බුරුසුව පවා තිබුනේ එහේ.කොහොම හරි තිබුන ෆිට් එකේ හැටියට අපි අතරේ කිසිම රහසක්නම් තිබුනේ නෑ.පාරේදි කොල්ලෙක් සූ සූ ගෑවත් ඒකත් ඇවිත් අම්මලා අප්පච්චිලාට කියන තරමටම අපි සෙට් එක ඕපන්.සමහර වෙලාවට අපි ඔය හෂියට එහෙම කොල්ලෙක් අල්ල ලා විහිලු කරද්දි අපේ ඉස්කොලේ මිස් ලා පවා දන්නවා.

සා.පෙ.ප්‍රතිපල කොච්චර හොද වුනත් පාසල අතෑරල යන්නේ නෑ කියන තිරනේ අපි හිටියා.කොහොමත් අපිට යන්න කියලා තිබුනේ දෙලොවක් අතර බාලිකාවටයි,අග්‍ර උපාසිකා බාලිකාවටයි.කලින් කතාවක කිව්වා වගේ දේශපාලන උදව්වක් ඇතුව අපි 5 දෙනාටම (සා.පෙ.විශිෂ්ඨ ප්‍රතිපල සමග) එකම පාසලේ එකම පන්තියට ඇතුල් වෙන්න තිබුනත් ගියේ නැත්තේ හදවතින්ම අපේ පාසල දාල යන්න හිතුන නැති නිසා.සමහරුනම් අර පෙර සදහන් කරපු බාලිකාවන්ට ගිහින් දැන් ඉන්නේ අපිව අදුරන්නෙවත් නැති ගානට.යන්නේ අඩි 10ක් විතර උඩින්.එවෙලෙට තමයි හිතෙන්නේ ~ අම්මපා මේ ඉන්නේ අපිත් එක්ක එක බත් පත බෙදා ගෙන කාපු උදවියද කියලා ~

කොහොම හරි අපි සා.පෙ. ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ London සා.පෙ. කරන්න බැදුනා.(අපිට කිසිම ඔනේ කමක් නැති වුනාට අම්මලගේ කටේ බලේට ගියේ.) බැදුනට මොකො අපි 4 දෙනෙක් ඒක අතෑරල ආවා වින්ඩි විතරයි ඉතුරු වුනේ.මාත් සා.පෙ. ඉවර වෙලා හෂියගේ ගෙදරින් බඩු මුට්ටු ටිකත් අරන් අපේ ගෙදර ආවා.(ඇදන් ආවට මොකෝ අපේ ගෙදර ඉදන් එයාගේ ගෙදරට පයින් යන දුර)

වින්ඩි අතෑරුනා.එයා London ම වුනා.හැදියාව කතා බහ අදින පලදින විදිහත් ඔක්කොම London.ටිකින් ටික කාලේ ගත වෙද්දි අකි ත් වෙනස් වුනා.එයත් අමුතුම ඉස්ටයිල් කාරියක් වුනා.මායි හෂියි ඉස්සර වගේම රබර් සෙරෙප්පු(ආරුගම්බේ නෙවෙයි හරිද ?) දාල එකම ඩෙනිම ඇදල අතට අහුවෙන ඇදුමක් ඇදන් පන්ති එද්දි අපේ මිස් ඉස්ටයිල්ට හිතෙන්න ඇති අපි එයාගෙ තත්වෙට ගැලපෙන්නේ නෑ කියලා.එයා පන්තියේ වෙන තැනකින් ඉදගන්න පුරුදු වුනා තවත් විකාර ඉස්ටයිල් කාරියො ගොඩක් එක්ක.

පස්සේ කාලෙක එයාල දෙන්නා පැත්තකට වුනා.අපේ මන්දයා ගිටාර් එක්ක තමයි සා.පෙ.ඉවර වෙලා කාලේ ගෙව්වේ.(මොනා වුනත් එයාට දැන් පට්ටෙට ගිටර් ගහන්න පුලුවන්) මන්දයා කොහොමත් එයාටම වෙන් වුනු මියුසික් ලෝකේ ඇලිලා ඉන්නේ.කන්නේ බොන්නේ අදින්නේ පලදින්නේ නිදා ගන්නෙත් මියුසික් එක්ක.ඉතුරු වුනේ මායි හෂියයි විතරයි.

ඒත් මං හිතුවෙ නෑ ඔයත් වෙනස් වෙයි කියලා හෂියෝ.කොල්ලෙක් ආවම ජීවිතෙට අවුරුදු 11ක් තිස්සේ තිබුන අපේ යාලුකමට වඩා වටින්නේ එයා නේද ?කලින් පොස්ට් එකක මම දාල තිබුනා මාස 3ට සුබ පැතුම් කියලා.ඒත් මට දැනුනේ ඒ මාස තුනට නුබ කොච්චර වෙනස් වෙලාද කියලා.යාලුවන්ට වඩා අවදානේ එයාට තමයි දෙන්න ඔනේ.මං මුකුත් කියන්නේ නෑ.එක වචනයක්වත් කියන්නේ නෑ ඔයාල දෙන්නට.ඒ වෙන මුකුත් නිසා නෙවෙයි සහෝදරයත් හරිම හොද නිසාත් ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම මටත් ගොඩක් සතුටු හිතෙන නිසාත්.

යලුවො කියන ජාතිය හැම දාමත් ලගින් තියා ගන්න බෑ.එයාලට හොදක් වෙනවානම් එයාලට යන්න අතෑරලා අපිට පුලුවන් වෙන්න ඔනේ එයලා දිහා බලලා සතුටු වෙන්න.මාත් කරන්නේ ඒක.ඒත් අන්තිමට මට කවුද ඉතුරු වුනේ?මට මතකයි දවසක් මට කවුදො කියනවා "අයියෝ වයිට් ඔයාට බෝයි කෙනෙක්වත් නැතුව කොහොමද තනියම ඉන්නේ ? " ආව මෙතන මගුල් කපුකම් කරන්න.මං කියපු එකාට කනේ ඇගිලි ගහගන්න මොනා හරි කියන්න ඇති.මට මතක නෑ.අපි 5 දෙනා ඉස්සර එකට පාඩම් කරපු හැටි ක්ලාස් ගිය හැටි ජොලි දාපු හැටි රස්තියාදු ගහපු හැටි දග වැඩ කරපු හැටි මතක් වෙන කොට ඉවසන්න බැරි වේදනාවක් දැනෙනවා.මට හරිම පාලුයි ඔයාල නැතුව.ඔයාල නැති ජීවිතේ හරිම හිස් කියලා මට දැනෙන්නේ.ඔයාලටත් ඒ අඩුව එහෙම ම දැනෙනවාද ??


Monday, August 29, 2011

හිස්සැල්ල සර් සමග අපේ කතා

මුලින්ම උ.පෙ. පන්තියට ආපු කාලේ අයියලා අක්කලාගෙන් අහගෙන තමා අපිත් පන්ති ගියේ.ජීව විදයාව කරන නිසා හොදම පන්ති වලට යන්න ඔනෙ කමකුත් තිබුනා.පිසික්ස් වලට තොර ගත්තෙ හිස්සැල්ල සර්.(තෝර ගන්න දෙයක් තිබුනේ නෑ.මුල දවස්වල හැමෝම වගේ ගියේ සර් ගාවට තමයි)දැන්නම් අපි හිස්සැල්ල ගාවට නොගියට ඒ දවස්වල වුන රසවත් සිදුවීම් තියෙනව කියන්න සර් ගැන.

සර්ගේ පන්තියේ මාර සැප වෙන පන්ති වලට සාපේක්ෂව ගත්තම.කුශන් කරපු බංකු තමා තිබුනේ.වෙන ඒවල ලෑලි බංකුවේ රෝස් වෙවි හිටියේ.හොදට ඒ.සි. එහෙම කරලා කූල් එකේ තිබුනේ.ලස්සන පාට පාට ගනන් පුරුවපු ටියුට් එහෙමත් දෙනවා.පන්තියේ ඉන්න ඔනේ ඉද්ද හිටියා වගේ කෙලින්.හෙලවෙන්න බැ.ලග ඉන්න එකා එක්ක කතා කරනවත් බෑ.ප්‍රශ්නයක් තියෙනවානම් සර්ගෙන් තමයි අහන්න ඔනේ.මුනේ අත තියන් ඉන්න බෑ.ඩෙස්ක් එකේ දිගා වෙලා ඉන්න බෑ.මේසෙට බරවෙන්න බෑ.වට පිට බලන්න බෑ.පන්ති වෙලාවේ මුකුත් කන්න එහෙම බෑ.ජංගම දුරකත පාවිච්චි කරන්නත් බෑ.මතකයි දවසක් සර් කොල්ලෙක්ගේ ෆෝන් එකක් කෑලි කෑලි යන්න පොලොවෙ ගැහුවා.අපරාදේ ඒක අලුත්ම Sony Ericsson express music එකක්.බැටරිය විසික් වෙලා ආවේ මං ගාවට.

දන්නවනේ ඉතින් මටයි මගේ යාලුවන්ටයි තිබ්බ පනු ගායේ හැටියට මේක නිකන් දන්ඩ නීති සංග්‍රහය වගේ වුනා.කොහොම වුනත් හිස්සැල්ලට තියෙන බයටම ඔක්කොම ඉවසන් හිටියා.අපේ කට්ටියට ඉතින් කොහොමත් රටේ නැති බාහිර වැඩ ඒ දවස්වල.සර්ගේ පන්තියට අඩි 60ක් වත් නැති වුනාට හැමදාම අපි පන්ති එන්නේ පන්ති පටන් අරන් විනාඩි 10ක් 15ක්විතර ගියාට පස්සේ.පුදුමේ කියන්නේ අනිත් ලමයි සර්ට බයේ ගැහෙද්දි අපිට ගානක්වත් නොතිබුන එක.කාර්ඩ් මාර්ක් කරන අක්කටයි අයියටයි අපිව හොදට මීටර්.අතුලට එනකොටම අහන්නේ "අදත් පරක්කුයි නේද ?මොකක්ද ඉස්කෝලේ තිබුන බාහිර වැඩේ ?" කියල තමයි.

කතා අංක 01

දවසක් අපි ආෆ්ටර් ස්කූල් ඉදලා හෙම්බත් වෙලා 3.30 විතර පන්ති ආවා.ඉදගන්න ලැබුනේ මැදක් හරියේ වෙන්න.හිස්සැල්ල සර් පන ඇරගෙන බල සමතුලිතතාවය උගන්නවනවා.අපිත් සර්ට පේන්න නැති වෙන්න අතින් කට වහන් ඈනුම් අරිනාවා.අපේ ඔබාමට එපාම වෙලා හිටියේ.මේ බලන් ඉදිද්දි ඇහ පිය වෙනවා.සර් දෙතුන් පාරක්ම අපි දිහා බලපු නිසා අනිත් ටික අලු ගසල ඇස් පිහදාල බාගෙට නැගිටිලා හිටියේ.

සර්ගේ ක්ලිප් ඕන් මයික් එක දෙදරුවා.සර් එක පාරටම අපේ පැත්තට්ට ඇගිල්ල දික් කරා.
සර් : " ඔය 20 වෙනි පෝලිමේ මැද ඉන්න කන්නඩි දාන ***** පාට ටයි එකක් දාගෙන ඉන්න පුතා.නැගිටින්න   බලන්න"
හෑ?? මට නේද කිව්වේ.මගේ සරුවාන්ගෙම ගැහෙනව දැන්.කකුල් දෙකට පන අරන් මම කොහොම හරි නැගිට්ටා.
සර් : " නෑ නෑ ඔය පුතා නෙවෙයි.ඔය පුතාට එහා පැත්තෙන් ඉන්න කන්නඩි දාන පුතා"
විලි ලජ්ජාවේ සන්තොසේ බෑ.මං ඉතින් උලමා වගේ ඉදගත්තා.සර් කතා කරල තියෙන්නේ ඔබාමට.ඌ තාමත් හීන ලොකේ හැබැයි.ලප දමයන්ති කොහොම හරි ඇනල කරල ඔබාමව ඇහැරවලා නැගිට්ටෙව්වා.
සර් : "පුතා කියන්න බලන්න බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව තියෙන්න බලපාන්න ඔනේ කරුනු මොනාද කියලා ? "
ඈ? ඒ මොකක්ද ඒ වගේ ඔබාම සර් දිහා බැලුවා.
සර් : " ඇයි පුතා මතක නැද්ද මේ දැන්නේ කියලා දුන්නේ"
අපිට ඉතින් දෙලොවම රත් වෙලා.එලෝ මෙලෝ පේනවා.මේකි හොදට හිනා වෙවි ඉන්නවා.මම නිකන් ඔලුව උස්සලා බලද්දි බෝර්ඩ් එකේ ලස්සන සර් ලියල තියෙනවා උත්තර ටික.කොහෙද ඉතින් ඔබාමට ඒක පේන්නත් ඇහරල ඉන්න එපැයි.තප්පර 30ක් විතර ගියා.මූ තාමත් හිනා වෙවි ඉන්නවා.
සර්: "පුතා පාඩම අහන් නෙවෙයිද හිටියේ ?"
අපි හැමෝම අත්දැකිමෙන් දැනන් හිටිය විදිහට ඊට පස්සේ සර් සෑහීමකට පත්වෙන විදිහේ උත්තරයක් නොදුන්නොත් කෙල්ලෙක් හෝ කොල්ලෙක් වේවා ඒක ඉවරටම ඉවරයි කියලා.වෙන එකෙක් නම් (කොල්ලෙක් පවා) මෙලහකට කලන්තේ දාල.මේකි හිනා වෙවිම ඉන්නව.අම්මපා!
ඔබාමා: (මූ තාම නිදි මතේ) අනේ නෑ සර්.මම අහන් නෙවෙයි හිටියේ.
අනේ ඇත්තට මුගේ මොලේ.වෙන මුකුත් තිබ්බේම නැද්ද කියන්න.පන්තියේ කෙල්ලො කොල්ලො ඔක්කොම උඩට ගත්ත හුස්ම බිමට නෑර බලන් ඉන්නවා.ඔබාමත් හිනා වෙනවා.සර්ගේ කටටත් යන්තම් හිනාවක් ඇවිත්.

සර් :"මීට පස්සේ එහෙම ඔහොම බෑ පුතා.ඇයි අහන් හිටියේ නැත්තෙ?"
ඔබාමා : -අහිංසක හිනාව-
සර් : හිනාවෙනවා ??
ඔබාමා : -අහිංසක හිනාව-
සර් : " හිනාවුනා ඇති නේද පුතා.ඉදගෙන පාඩම අහගන්න"
ඔබාමා : -තවත් හිනාවෙනවා-
සර් : "දැන් ඉතින් ඉදගන්න ! "
ඔබාමා : -පුලුල් සිනා-
සර් : " කිව්වම ඉදගන්න !!! "
ඔබාමා : -දත් 32ම පා සිනා-

ඉදගනින් යකෝ හිනා වෙවි ඉන්නේ නැතුව.මම ගවුමෙන් ඇදලා ඔබාමව ඉදෙව්වා.ඌ තාමත් උඩ බිම බල බල.සර්ත් නිකන් අන්ද මන්ද වෙලා බලන් ඉදල පාඩම පටන් ගත්ත.කොහොම කොහොම හරි පන්ති ඉවර වුනා.අපි තමයි පන්තියෙන් අන්තිමටම යන්නේ වොශ් රූම් එකේ ලැගල ඉදල පච හලලා.පහලට බහින ගමන් ඔබාමා.
"මේ අද පන්තිය වෙලාවෙ මම ශොක් හීනයක් දැක්ක මම නිදන් ඉදල සර් මාව නගිටවලා මම සර් එක්ක හිනා වෙවි හිටියා'
මම කියාපි
පිස්සුද ඕයි ඒක හීනයක් නෙවේයි.අත්තටම තමුසෙ එහෙම ගොන් වැඩක් කරා.!!
ඔබාමා පිලිගන්නෙම නෑ අපි කිව්ව දේ.හිතන්නේම හීනයක් කියලා.

පහලට යද්දි හිස්සැල්ල සර් ඉන්නවා.
සර් : " ආ..නිදා ගන්න පුතා.මීට පස්සේ ඇහැරන් ඉන්න ඔනේ"
සර්ගේ කතාව අහපු ඔබාමා දියෙන් ගොඩ දාපු මාලුවා වගේ ගැහෙනවා.
 ඔබාමා  : ( ටොයින්ග් !)අනේ සර් හිතල නෙවෙයි කරේ.මං එවෙලේ හිතාල නෙව්යි කතා කරේ.අනේ සර් !
සර් : (හිනාවෙමින්)"කමක් නෑ පුතා.හැබැයි අදට විතරයි.මීට පස්සේ අවදානෙන් අහන් ඉන්න ඔනේ'
ඔබාමා : "අනේ හරි සර්.ආයේ කරන්නේ නෑ"
වීරය වගේ එවෙලේ හිටියට මොකද මේ ඩින්ගට දාඩියත් දාල ඔබාමට.


කතා අංක 02

මට වෙන පන්තියක් වැටිලා සර්ගේ ගෲප් ක්ලාස් එකෙන් මාස් එකට මාරුවක් ගන්න ඔනේ වුනා.කවුන්ටරෙන් කිව්වා සර් එක්ක අම්මා හරි අප්පච්චි හරි කතා කරල තමයි මාරු වෙන්න පුලුවන් කියලා.ඉතින් දවසක පන්ති ඇරිලා අම්මයි මායි හිටියා සර්ව හම්බවෙන්න.සර්ට කොහොමත් අපේ පරක්කු වීම් පන්තියේ ඈනුම් ඇරීම් ඔබාම හැමදාමත් පන්ති කාර්ඩ් එක නැති කරගන්න නිසාත් තව තව අපේ නසරානි වැඩ නිසා සෙට් එක පිටින්ම මීටර් වේලා තිබුනේ.


සර් : "ඇයි පුතා මෙතන ? "
මම : "සර්ව හම්බවෙන්න ආවේ සර් පන්තිය මාරු කරගන්න"

මං මගේ ගැටලුව කියලා පන්තිය මාරු කරගත්ත.සර් කාර්ඩ් එක ඉල්ලුවා මාර්ක් එකක් දාල දෙන්න.අපේ අම්මල අප්පච්චි එහෙම ඉන්නව නේද.පලමු වතාවට තමයි මාව ගන්න පන්තියකට ආවේ.සර් කලුද සුදුද කියලා දැක්කෙත් එදාමද කොහෙද.සර් හිනාවක් එහෙම දාල කාර්ඩ් එක අතට අරන්න් අම්මගෙන් ඇහුවා

.
සර් : " කොහොමද දුව එහෙම ගෙදරදි වැඩ එහෙම කරනවද ? "
අපේ අම්මා : "මොන පිස්සුද සර්.දැන් ගෙදර ගිහින් කොම්පුටරේ බදාගෙන ඉදිවි. ගේම් ගහාවි.පොතක් පතක් අල්ලන්න ඔනේ නැ.අඩුම තරමේ ගෙයක් දොරක්වත්අතුගාන්නේ නෑ"
සර් නිකන් බැලුවා මං දිහා අර බල්ලෙක් පාරේ දාපු දෙයක් දිහා බලනවා වගේ.හිතන්නකො මෙවෙලේ හිස්සැල්ල සර්ගේ රිඇක්ශන් එක කොහොම වුනාද කියලා.

සර් : " ගන්නවා බලන්න හෝම් වර්ක් පොත"
මම : " ඒක වාහනේ ඇතුලේ සර්"
සර් : "ගිහින් ගේනවා ඒක මගේ මූන දිහා බලන් ඉන්නේ නැතුව."
අපේ අම්මත් සර්ගේ කෑගැහිල්ලට බය වුනාද මන්දා.ක්ලාස් එකෙ වහල හෙල්ලුනාද මන්දා.
සර් : "ඉතින් මොනාද තවත් බලන් ඉන්නේ දුවනවා ගිහින් පොත් ටික අරන් එනවා !!පන්තියේ ඈනුම් ඇර ඇර හීන ලෝක වල ඉදගෙන.එන්නේ හැම දාමත් පරක්කු වෙලා.අම්මලා තත්තලාගේ සල්ලි නාස්ති කරන කාලකන්නියො.ජාතියක් ගොඩ නැගෙන්න කොහොමද මේ වගේ වැඩ කරද්දි..හ්ම්ම්..ඉක්මන් කරන්වා.යනවා.මට මෙතන රෑ වෙනකන්ම බලන් ඉන්න බෑ"

මගේ පපුව ගැලවිලා අතට එන තරමට මාව හොදටම බය වෙලා.වෙව්ලනවත් එක්ක.මං අම්මවත් අරන් හෝම් වර්ක් පොත අරන් එන්න කියලා එලියට බැස්සට මොකද පස්ස නොබල පන්තියෙන් දුවල දුවල ගිහින් වාහෙන නැග්ගේ.අම්මත් බය වෙච්ච පාර මුකුත් ඇහුවෙත් නැතුව වාහනේ ස්ටර්ට් කරන් ආව.අම්මා දන්නවා මම කවදාවත් ගෙදර වැඩ නම් නොකරන විත්තිය.පෙන්නන්න පොතක් තියෙන්න එපැයි මං ගාව.

සර් ගාව මගේ කාර්ඩ් එක.එතනට වෙලා බලන් ඉන්නව ඇති මම එනකන්.එදා තමයි මම හිස්සැල්ල සර්ව අන්තිමටම දැක්කේ.මම එදාට පස්සේ ඒ ඉන්ස්ටියුට් එක ලග පාතින්වත් ගියේ නෑ.මාර දුකයි වුන දේ ගැන නම්.සර් ඊට පස්සේ සතියේ අහලා තියෙනවා ඔබාමාගෙන් අර සුදු පාට කන්නඩි දාන ලමය කෝ කියලා.ඔබාම ගත් කට ටම කියලා එහෙම කෙනෙක් අදුරන්නේ නෑ කියලා.එදා ඉදන් ඔබාමා පන්ති යන්නෙත් නෑ.අපේ හෂියනම් පන්ති නරතර කලේ එක විදිහකට ඉදන් ඉන්න බැරි නිසාමයි.ලප දමයන්ති පරක්කු වෙලා පන්ති ගිහින් බැනුම් අහලා එයත් ඊට සති 2කට පස්සේ පන්ති නතර කරා.අද දැක්කත් සර්ටනම් අපිව මතක ඇති.ඒ අපි දග වැඩ කරාට හැම දාම පන්ති පටන් ගන්න කලින් දෙන විබාගෙන් වැඩිම ලකුනු ගන්න නිසා වෙන්නැති.

ඔන්න ඔහොමයි වයිට් කන්නාඩි ඇතුළු පිරිස හිස්සැල්ල සර්ගේ පිසික්ස් පන්ති ගියේ.

ප.ලි. - දැන් යන පන්තියෙත් මෙච්චරම තමයි.වයිට් ඇතුළු පිරිස තාම පාඩමක් නම් ඉගෙන ගෙන නෑ නේ.


51 යි !

2011.08.27 වෙනි දිනට මගේ ආදරනීය අම්මට අවුරුදු 51ක් පිරුනා.(අදුරන හැමෝටම කිව්වේනම් 41ක් කියලා.කොහෙද ඉතින් අපේ අප්පච්චි අම්මගේ 50වෙනි උපන්දිනෙ රට ටම කියලා සමරපු නිසා වයස හන්ගන්න බෑ කියලා දුකෙන් තමා අම්මා නම් ඉන්නේ).මේ දවස්වල මාසයක් විතර යනකම් අප්පච්චි ඉන්නේ ගෙදරින් පිට.අයියලා දෙන්නා නම් කොහොමත් මෙහෙ නෙවෙයි ඉන්නේ.ඒත් එයාල අමතක කරල තිබුනේ නෑ අම්මට උපන්දින තෑග්ගක් එවන්න.

උන් දෙන්නට නම් මොකෝ.හම්බකරන එව්වා මොනාට හරි වියදම් කරන්නත් එපැයි.පොඩ්ඩා නම්  Cartier ඔරලොසුවක් එවලා තිබුනා.මගේ පපුවත් එක්ක දාල ගියා එකේ ගාන අහුවම.ලොක්කනම් අහින්සක විදිහට සාරියක් එවලා තිබුනා.මං අරන් දුන්න මාලේ දැම්මම කිසිම ගැලපීමක් නැති වුනාට මොකද අම්ම ඒකත් දාගෙන තමයි ගියෙ.දැන් ඉතින් ඔෆිස් එකෙ අයට කනක් ඇහිලා ඉන්න බැරි වෙවි පම්පොරියෙන්.අම්මගේ මූනේ තියෙන ආඩම්බර බලන්න ඔනේ අද ඒවත් ඇදගෙන යද්දි.අම්මා පවුලේ වැඩිමලා නිසා මල්ලිලා නංගිලා ඔක්කොම අද අපේ ගෙදර එන බව දැනගෙන හිටියත් අම්මට අප්පච්චි නැතුව මොන උපන් දින ද යන තත්ත්වේ තමා හිටියේ.(ඒ දෙන්නගේ අමුතු ජාතියේ ලව් එකක් තමා තිබ්බේ.ඉන්නකම් රන්ඩු වෙන නැති වුනාම සොවින් තැවෙන.)

කොහොම හරි හවස මගේ කෙස්මිස්ට්‍රි පන්ති ඉවර වෙලා මාමා ඇවිත් හිට්යා එක්කන් යන්න.කට්ටිය ඔක්කොම එක්ක ගියා බෙල්ලන්විල පෙරහැර බලන්න.පාස් තිබ්බ නිසා චප්ප වෙන්නේ නැතුව බලුවා ලස්සනට පෙරහැර.(මටනම් හිතුනේ සෙනග අස්සේ ජොලියක් දාගෙන බලන්න බැරි වුන එක අපරාදේ කියලා).

කොහොම කොහොම හරි අපේ පොඩි සෙට් එකට සෙල්ලම් කරන්න යන්න ඔනේ  වුනා McDonald එකට.රෑට කන්නත් එක්ක ගියා ඉතින් ඔන්න.(පොඩි සෙට් එක ගැන වචන නෑ මට.මුන් ටික පිට රටක ගිහිනුත් හොයන්නෙ ඒ මගුලම තමයි)මං යනකම් ම නහයෙන් අඩ අඩ ගියේ.ඔය මස් කෑල්ලකුඉ බර්ගර් එකයි කාල කාටද බඩ පිරෙන්නේ මං අහන්නේ ?

මගේ අඩ වැඩියාවේ තරමට බාප්පා අල දොසේ ගෙනත් දුන්නා.කට්ට්ටිය දන්නවද මංදා Mcවගේ තැන් වලට පිටින් කෑම ගෙන්න බෑ කියලා.මටනම් හොරෙන් කන එකේ මාර ෆන් එකක් තිබුනේ.Macඑකේ කොල්ලෙක් පිගන් උස්සන් යන කොට මම කෑම එක හන්ගනවා ආයේ ශේප් එකේ කනවා.ටිකක් වේලා යද්දි නැන්දලා මාමලා බාප්පලා පුංචිලා ඔක්කොම මගේ අල දොසේ එකට වැඩේ දෙනවා.

පොඩි සෙට් එක නටල නටලා හෙම්බත් වෙලා අවිත් කෑවා කෑවා මාරම කෑමක්.වේටර්ල ඇස් උඩ තියන් තමා බලන් හිටියෙ කන කෑම දිහා.කනවා කනවා ඉවරයක් නෑ.අම්මා නම් හුස්ම උඩ තියන් හිටියේ බිල කොහොම වෙයිද කියලා.ඒ මදිවට Mc එකේ කට්ටිය බය වෙලාද මන්දා හිටියේ කෑම ඉවර වෙවි කියලා.
අපි කට්ටිය මිස්ටර් මැක් එක්ක එකට ඉදන් පින්තූර ගද්දි මැක් එකට ආපු මිනිස්සු බය වෙලා වගේ බලන් හිටියා අපි දිහා හරියට මේ මොන තුම්පනෙන් පැනලා ආපු කට්ටියක්ද වගේ..

මට මතක් වුනේ මගේ 17 වෙනි උපන්දිනේ සමරපු හැටි.යාලුවො එක්ක සින්දු කියලා නටලා කාලා ජොලියක් දාල එහෙම.මාත් නාකි වුනාම මේ වගේ පොඩි ඇච්චො සෙට් එකක් එක්ක රටෙ නැති ඕප දූප කියව කියව උපන්දිනේ සමරාවි නේද ?බොරින් කමට මැරිලා ඉදිවි මම.

ඔක්කොමත් ඉවර වෙලා කට්ටිය ගියා ගාලු මුවදොර පිටියට.මං නම් හරි බයයි ඒකට යන්න.මොකද පොඩි කාලේ අම්මලට මාව අමතක වෙලා මාව මෙහෙ දාලා ඇවිත් තියෙනවා.(අයියලා නම් කිව්වේ හිතලම තමයි මාව දාල ආවේ කියලා)මාමලා බාප්පලා ඔක්කොම අමදයප නිසා අහිංසකයෝ වගේ සරුංගල් ඇර ඇර හිට්යා.මහ රෑ සරුංගල් ඇරලා බාප්පා අතත් කපා ගත්තා නුලට.
මායි නංගියි එයාගේ හොදම යාලුවයි පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිද්දා.වැඩි වෙලාවක් යන්න කලින් මට තෙරුනා පිරිමි පරානයක් නැතුව එහෙ මෙහෙ ඇවිදින එකනම් එච්චර නුවනට හුරු දෙයක් නෙවෙයි කියලා.හැම තැනම පෙම් සුව විදින උදවිය,කුඩු කාරයො,ඩ්‍රින්ක්ස් දාන උදවිය,වල් මිනිස්සු.අම්මා නම් සුපුරුදු පරිදි පුන්චිලයි නැන්දලයි එක්ක කෝප්ප හෝද හෝද හිටියා.

මට නම් හිතුනේ මේක කිසිම කමකට නැති කාලේ නාස්ති කිරිමක් කියලා.ගෙදර ගිහින් පිසික්ස් ගනන් ටිකක්වත් හැදුවනම් දාහෙන් සම්පතයි කියලා හිතුන වාර ගාන අනන්තයි මට.

කොහොම හරි ඔක්කොමත් ඉවර කරලා ගෙදර එද්දි රෑ 1.30ත් පහුවෙලා.ඔන්න ඔහොම තම්යි අපෙ අම්මා 51 වෙනි උපන්දිනේ සැමරුවේ.

Friday, August 26, 2011

කලකිරීමෙන් ලියමි

අද අපිට 7.30 වෙනකන්ම කොස්කද ගාව ක්ලාස් එකක්.ඉවර වෙලා එද්දි හොදටෝම වැස්ස.වයිට් කන්නාඩිට කුඩයක් පාවිච්චි කරනවා කියන්නේ මරනවා වගේ වැඩක්.අව්වටවත් වැස්සටවත් මම කුඩයක් පාවිච්චි නොකරට හැම දාම ඒක බැග් එකේ දාගෙන යන්නේ නම් ආත්ම ආරක්ෂාවට.අද කාලේ බස් එකේ යන්නේ කොහොමද නැත්නම් ?වැඩිය ඔනේ නෑ අද කාලේ සූ සූ පාරක් නැතුව පාරේ යන්න පුලුවන් කීදෙනටද ?(මං කියන්නේ නෑ පිරිමි පාර්ශවය ඔක්කොම එකයි කියලා)කොහොම වුනත් අද මේ කියන්න යන්නේ බස් එකේ මම අත්දුටු දෙයක්..

ඊයේ බස් එකේ ඇගිල්ලක් වත් ගහන්න බැරි තරමටම සෙනග.වැස්ස නිසා පාපුවරුවේ යන්නත් බෑ.කොහොම නමුත් අපේ ක්ලාස් එන ලානන්දේ ලමයි බොහොම කරුනාවෙන් අපිව බස් එකට නග්ගලා එයාල පාපුවරුවේ ගියා.(අත්දැකීමෙන් කියන්නේ සමහරක් අයනම් එහෙම කරන්නේ නෑ.ගෑනු ලමයින්වත් පෙරලගෙන එයාල තමයි මුලින්ම නගින්නේ.)කොල්ලෙක් (කොල්ලෙක් කිව්වට කොලු අන්කල් කෙනෙක්) අපේ ක්ලාස් එකේ ගෑනු ලමයෙක්ට නිකන් ඔනේ නැති කතාවක් දානව වගේ මන් ඇස් කොනෙන් දැක්කා (බෙල්ල හරවන්න විදිහක් නෑ ඒ තරම් සෙනග)ෆූට් බෝර්ඩ් එකේ ගියාට මොකද අපේ පන්තියේ කොල්ලෝ රෑනත් මේ ගැන මීටර් එකේ හිටියේ.ලානන්දෙ ලමයෙක් මගෙන් ජනේලෙන් එබිලා ඇහුවා "මොකද අවුල ?"

අර ලමයා අපහසුතාවෙන් හැකිලිලා ගිහින්.ආන්ටිල අන්කල් ලා ඔක්කොම මූන ඇබුල් කරන් හිටියට කවුරුත් අර අන්කල් කොල්ලගේ නොහොබිනා හැසිරිම් ගැන කතා කරන්නේ නෑ.මමත් ඇහින් පොඩි ලුක් එකක් දුන්නා කොල්ලො සෙට් එකට අර ග්ර්ල්ගේ දිහාවට.වැස්ස කියල බැලුවේ නෑ.ඇතුලට බඩ ගෑවා.වීරයො වගේ ආවට මොකො බනින්නවත් වලියන්නවත් දාගන්නේ නැති අහින්සක ඇච්චො සෙට් එකක්.කොල්ලො ටික ඇවිත් අර කොල්ලව ශේප් එකේ අයින් කරලා අර ග්ර්ල්ගේ වටේට පවුර වගේ හිටගත්තා ආයේ මැස්සෙක්ටවත් රින්ගන්න බැරි වෙන්න.උන්ටික බදා ගන්න තරම් ආදරයක් හිතුන මට.

කොහොම හරි කොල්ලො ටික අර අන්කල් කොල්ලව නැති වෙන්න බයිට් කරා කොලු අන්කල් තෙමිච්ච කුකුලා වගේ.මම බස් එකෙන් බහින් කොට දාගේන හිටපු සෙරෙප්පුවෙන් ෆුල් ඩම් එක දාල පෑගුව අර මිනිහගේ කකුල නැත්තට නැති වෙන්න.(අර මිනිහට රිද්දුවට පස්සේ මට මාර සතුටක් දැනුනේ!)

මම කල්පනා කරේ අර කට්ටිය හිටියේ නැත්නම් ග්ර්ල්ට මොනවා වෙලා නතර වෙයිද කියලා.පොත්ත සුදුවට,තොල රතුවට,කොන්ඩේ කූරුවට හිටිය එක කොල්ලෙක්වත් අර වෙච්ච අසාධාරෙනෙට විරුද්ධව එක වචනයක්වත් කිව්වෙත් නැ මුකුත් කලෙත් නෑ.වැඩක් නෑ ඔහොම පෙද කොල්ලො.

ගෑනු ලමයෙක්ට නිදහසේ බස් එකේ යන්න බැරිනම් පාරේ යන්න බැරිනම් මොකටද නිදහස් ශ්‍රි ලංකාවක්?අපිට සම තැනවත් මොන මගුලක්වත් ඔනේ නෑ.නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වට පිටාවක් දෙන්න.අම්මලා අප්පච්චිලාට බයක් නැතුව ගෑනු ලමයෙක් පාරේ යවන්න පුලුවන් කරන්න.

මේක කියවන පිරිමි ලමයෙක් ඉන්නවනම් පොඩ්ඩක් හිතන්න ඔයාල ෆන් එකට ගෑනු ලමයෙක්ට අනවශය විහිලුවක් කරද්දි එයාල කොච්චරනම් අපහසුතාවෙට පත්වෙනවද කියලා.කවදා හරි ඔයාලගෙම නංගි කෙනෙක් අක්කා කෙනෙක්ටත් ඒ වගේ වෙලා හිතින් කොච්චර දුක්වෙන්න ඇතිද ?හැම තිස්සෙම දෙයක් කරන්න කියන්න කලින් දෙපාරක් හිතන්න.

ප.ලි. - කලකිරීමෙන් ලියපු නිසා වචන සැර වැඩි වෙන්න ඇති.කරන්න දෙයක් නෑ.හිතේ දුකට ලිව්වේ.

Tuesday, August 23, 2011

සයන්ස් ඩේ - රස කතා 01

අපෙ ස්කුල් එකෙ සයන්ස් ඩේ තිබිල දැන් ගොඩක් කල් වුනාට තාම ඒ කරපු පිස්සු වැඩ හිතෙ තියෙනවා ආයේ ගලේ කොටපු අකුරු වගේ.ඔය සයන්ස් ඩේ කොමිට්ය තෝරන දවස්වල වයිට් කන්නාඩි බොහොම අසාධ්ය තත්වෙන් හිටියෙ තඩි ටකරම් කූඩාරමක් ඇගට කඩන් වැටිලා.(ඒ කතාව පස්සේ දාන්නම් ස්පොර්ට් මීට් එකේ නොවැ වුනේ.)කොහොමත් මැරුවත් ඉස්කොලේ යනවනේ මම.ඒ දවස් වලත් බැරි මරගාතේ ඇවිදින්නවත් බැරුව ගියා.හෂියා තමයි බෑග් එක පවා ස්කුල් එකට අරන් ගියේ.

ඔන්න ඉතින් ඒ කතා වැඩක් නෑ කියමුකො.ඉන්ටොවොල් එකේ බෙල් එක ගහල ඉවර වුනාම සයන්ස් සොසයිටියේ මීටිමක් කියලා පනිවිඩයක් ආව පන්තියට.කට්ටිය එක්ක පැල් බැදගෙන හිටියේ පොස්ට් ගන්න.(ඔන්න අපේ පංතියේ හෙම නැ ඒ වගෙ උදවිය)කොහොම හරි පන්තියේ එවුන් මන් ගැන සැහෙන අනුකම්පාවෙන් හිටියේ වුන අකරතැබ්බවල් නිසා.උන් මාවත් ඇදගෙන ගියා කොහොම හරි. :-D කට්ටිය එක්ක ඉදගෙන එහෙම බොහොම සාම්ප්‍රදායික විදිහට අපේ ප්‍රදාන සාලාවේ මීටිම පටන් ගත්තා.ඔන්න ඉතින් කට්ටිය ප්‍රදාන තනතුරු දෙනවා.අපේ කට්ටියත් උඩ පැන පැන පන්තිවල ඉන්න ප්‍රමුඛ පෙලේ ලමයි(ඔය හැම මගුලටම පැන පැන යන උදවිය තමයි ප්‍රමුඛ පෙල කියන්නේ) යෝජනා කරනවා.අපේ සෙට් එකේ උදවියගේ නමුත් හැම එකටම කියවුනා.මගේ නමත් කියෙවෙනවා.බැරි මරගාතෙ නැගිටිනවා ඇවිදගෙන ඉස්සරහට යනවා. Grade head මිස් ඔරවනවා.(කොන්ද කඩා ගත්ත නිසා මිස් මට තහනම් නියෝගයක් පනවලා තිබුනේ බාහිර වැඩ කරන්න එපා කියලා)කොහොම හරි ඡන්ද ලැබුනට පොස්ට් එකක් අරන් වැඩක් කරන්න තියා කෙලින් ඉන්නවට් වයිට් කන්නඩි ට සුවයක් තිබුනේ නැ ඒ දවස්වල.අපේ එවුන්ගේ අමාරුව කොච්චරද කිව්වොත් මාව මිස්ලාගේ විරෝධය මැද කොමිටි මෙම්බර් කෙනෙක් හැටියා දාගත්තා.

අන්තිමට ඔක්කොම ඉවර වෙලා බලද්දි අපේ පන්තියෙන් තමයි ප්‍රසිඩන්ට්තුමි,සෙකට්‍රිතුමි සහ ප්‍රදාන සංවිධායකතුමි යන 3 දෙනාම හිටියේ.තුන් දෙනාගෙන් සෙකට්‍රි තුමි ඇරුනු කොට අනිත් දෙන්නම මගේ බුදු fit 2 ක් වෙන හෂියයි , ඔබාමයි. ඉගෙන ගන්න කියලා A/L පන්තියට ආපු අපිට සිද්ධ වුනේ ඩේස් වලට කරගහන්නම තමයි.

Tuesday, August 9, 2011

අනෝමා නෙවෙයි නාලිකා !

මේක වුනේ මේ ලගදි දවසක මම යාලුවෙක්ගේ ගෙදර ගිය වෙලාවක.මගේ හොදම යාලුවෙක්ගේ මල්ලි කෙනෙක් ඉන්නවා.තාම පොඩි එකා.6 වසරේ ඉගෙන ගන්නේ.ඔය මරදාන පැත්තේ ප්‍රසිද්ධ පාසලක කොල්ලා ඉගෙන ගන්නේ.කරන්න තියෙන බාහිර වැඩ ඔක්කොම වගේ කරනවා.ඉගෙන ගන්න එක නම් කරන්නේ ආන්ටිගේ කටේ බලේට.
ඉතින් මේ කියන දවසේ මමයි මගේ තව යාලුවෙකුයි මේ කතාවට අදාල මල්ලිගේ අක්කා හෙවත් ලප දමයන්තිගේ හෙදර ගියා.අපි ගෙදරට ඇතුලු වෙද්දිම ඇහුනේ ආන්ටිගේ කැගැහිල්ල."මූට කොච්චර කියල දුන්නත් වැඩක් නැ- මොට්ටයා !! " අපි දෙන්නත් එක්ක ගිහින් උඩින් විසි වුනා ආයේත් වත්තටම.බලන කොට හෙට අර පොඩි එකාගේ ටර්ම් ටේස්ට් එක.තියෙන්නේ බුද්ධ ධර්මය ලු.කොච්චර ඉගැන්නුවත් මේ පොඩි එකාට මතක හිටින්නෙත් නෑලු.
ආන්ටි ආපි ගමන් මට කියාපි."දුවේ පුලුවන්නම් ඔයාවත් මේකට පාඩමක් කියල දෙන්න."කියලා.ආන්ටිගේ කීම අහක දාන්නත් බැනේ.ආපු කාරනේ පැත්තක තියලා මාත් සෙට් වුනා පොඩි එකාට පාඩම කියල දෙන්න.වැඩේ ලස්සනට ගලාගෙන යනවා.මගේ ඉගැන්නිල්ලේ හොද කමට පොඩි එකත් පට පට ගාල හරි උත්තරත් දෙනවා.පොඩි එකාට කොච්චර කිව්වත් සිදුහත් කුමාරයා එතර වුනේ අනෝමා ගං තෙරෙන් කියන එක මිටර් වෙන්නේම නැ.
ඒ පාර මම මෙහෙම කිව්වා."මල්ලිට මතකෛ නේද ලප දමයන්ති අක්කගේ කෙමිස්ට්‍රි මිස් ව ?"මල්ලි කියාපි "ආ ඔව් අක්කේ.මිස්ගේ නම අනෝමා නේ ?""හරියට හරි අන්න ඒ කෙමිස්ට්‍රි මිස්ගේ නම තියෙන ගගෙන් තමයි සිදුහත් කුමාරයා එතර වුනේ.දැන් මතකද මල්ලිට ?""ආ.හරි අක්කේ මට හොදට මතකයි !" මටත් දැන් මාරම හැපි.පාඩම උගන්නලා ඉවරයි.ආන්ටි ඇවිත් මල්ලිගෙන් ප්‍රශ්න අහනවා මල්ලියත් නියමෙට උත්තර දෙනවා වීරයා වගේ.අපි තුන් දෙනත් පැත්තකට වෙලා අහන් ඉන්නවා.ඔන්න ඉතින් ආවා ජජ්මන්ට් පොයින්ට් එකට.
ආන්ටි : "සිදුහත් කුමාරයා අභිනිශ්ක්‍රමනය කර නික්ම ගියේ කුමන ගං තෙර එතෙර වීමෙන්ද ? "
මල්ලි : "හ්ම්ම්......."
ආන්ටි :"කියනවා බලන්න ! මොන ගං තෙරද ? "
මල්ලි : "පොඩ්ඩක් ඉන්න අම්මා.අර අක්කගේ කෙමිස්ට්‍රි මිස්ගේ නම නේ"
ආන්ටි: "මාත් දන්නවා.කියන්න බලන්න."
මල්ලි: "ආ..මට මතකයි. සිදුහත් කුමාරයා එතෙර වුනේ නාලිකා ගං තෙරෙන්"
ආන්ටි: "ආ.......!!!!!!!!!! "
(හුටා !මට අමතක වුනානේ ලප දමයන්ති නාලිකා කියලා කෙමිස්ට්‍රි මිස් කෙනෙක්ගෙනුත් ඉගෙන ගන්නවා කියලා ! )